මගේ පසුගිය තීරු ලිපිවල මා තර්ක කර ඇති පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ඇපදීමක් කර නොමැති අතර, පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා ආර්ථිකය දුවන්නේ තමන්ගේම විදේශ ඉපැයීම් මත ය; ලංකාවට ලැබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෙවීම් මසකට ඩොලර් මිලියන 60කට සමාන වන අතර ශ්‍රී ලංකාවේ විදේශ ඉපැයීම් මසකට ඩොලර් මිලියන 1,800කි. ඇත්ත වශයෙන්ම, අපි පසුගිය වසර දෙක තුළ ජාමූඅ ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙත ණය ආපසු ගෙවීම සඳහා ඩොලර් බිලියන 2 කට ආසන්න මුදලක් ගෙවා ඇත. තවද, වසර හතරක කාලය තුළ ලබා දී ඇති ඇමරිකානු ඩොලර් බිලියන 3 ක වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව ඉදිරි වසර දහය තුළ ජාමූඅ ට පොළිය පමණක් ඩොලර් බිලියන 2 ක් ගෙවනු ඇත. පැහැදිලිවම, IMF බේරුම්කරුගේ සහ ණයහිමියාගේ භූමිකාවන් ඉටුකිරීමේ දී ද ළබැඳියාවන් පිළිබඳ ගැටුමක් ද පවතී.”
සැප්තැම්බර් 21 වන දින ජනාධිපතිවරණය වේගවත් වෙමින් පවතින අතර අපේක්ෂකයෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ගිවිසුමේ අනාගතය ගැන විවාද කරමින් සිටිති. මැතිවරණයේ ඉදිරිපෙළ තරඟකරුවෙකු වන ජාතික ජන බලවේගය, විකල්ප ණය තිරසාරත්ව විශ්ලේෂණයක් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමේ කොන්දේසි නැවත සාකච්ඡා කරන බව කෙලින්ම පවසා ඇත.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සහ විකල්ප ණය තිරසාරත්ව විශ්ලේෂණය සඳහා වන උපකල්පන නැවත සාකච්ඡා කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ වැඩි පැහැදිලි කිරීමක් සඳහා අවශ්‍යතාවයක් පවතී.
ශ්‍රී ලංකාවේ 17 වැනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) ගිවිසුමේ මූලික කොන්දේසි දෙකක් ඇත. ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැර ඇති හෙයින් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම බේරුම් කරමින් සිටින හෙයින් ඒවා පෙර ගිවිසුම්වලට වඩා වෙනස් ය.
පළමුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)ඉහල ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඉල්ලා ඇත – මෙමඟින් අදහස් කරන්නේ ණය සහ පොලී ගෙවීමට පෙර, සෙසු වියදම් අඩු කළ විට ආණ්ඩුවේ ආදායම යි. දෙවනුව, ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඉල්ලා සිටී. මෙම කොන්දේසි දෙකම ජාමූඅහි ණය තිරසාරත්ව විශ්ලේෂණය සමඟ සම්බන්ධ වී ඇති අතර, එය ප්‍රාථමික අයවැය අතිරික්තය සහ ණය හිමියන් සමඟ සාකච්ඡා කළ හැකි ණය සහන මට්ටම යන දෙකටම ඉලක්ක සකසයි.
ඉක්මන් ගනුදෙනු
ජාමූඅ ගිවිසුම නැවත සාකච්ඡා කිරීමට හේතු බොහෝය. පළමුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම කිසි විටෙක සැබවින්ම සාකච්ඡා කර එකඟතාවට පත් වූවක් නොවේ; ජනාධිපති වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ණය හිමියන් කැටුව එකට ගිය අතර මැතිවරණයට පෙර ඉක්මන් ගනුදෙනු ඇතිකර ගැනීම ගැන පමණක් උනන්දු විය. දෙවනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැඩි කප්පාදු පියවර දැන් ජීවනෝපායන් කඩාකප්පල් කිරීම, දරිද්‍රතාවය ඉහළ යාම, ආහාර අනාරක්ෂිතභාවය සහ පරම්පරාවක් අහිමි වීමේ විය හැකියාව ඇතුළු දැවැන්ත සමාජ දුක්වේදනාවන් පිළිබඳ අර්බුදයක් නිර්මාණය කර ඇත. තෙවනුව, වත්මන් ආර්ථික ප්‍රතිපත්ති ගමන් පථය තවත් ණය පැහැර හැරීමකින් සහ දික්ගැස්සුණු අර්බුදයකින් කූටප්‍රාප්තියට පත්වීමට ඉඩ ඇත.
මෙම සන්දර්භය තුළ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ගිවිසුම නැවත සාකච්ඡා කිරීම සඳහා ඉහළ ප්‍රාථමික අයවැය අතිරික්ත ඉලක්කය නැවත සලකා බැලීම සහ වඩාත් විශාල ණය සහන සහතික කිරීම අරමුණු කොට ණය හිමියන් සමඟ ගිවිසුම් පූර්ණ අළුත්වැඩියාවකට ලක් කිරීම අවශ්‍ය වේ. මෙම ක්‍රියාමාර්ග දෙකම පදනම් විය යුත්තේ විකල්ප ණය තිරසාරභාවය පිළිබඳ විශ්ලේෂණයක් මත ය; එය බාහිර ණය තිරසාරභාවය පමණක් නොව, වඩාත් වැදගත් ලෙස, අපගේ ජනතාව සඳහා තිරසාර සමාජ හා ආර්ථික ජීවිත සහතික කරන්නක් විය යුතුය.
රට ඉදිරියේ ඇති ප්‍රශ්නය 2022 සිට ක්‍රියාත්මක වන යල් පැන ගිය IMF ගිවිසුමක් සහ එහි ණය තිරසාරත්ව විශ්ලේෂණය යාවත්කාලීන කිරීම හෝ සියුම් ගැළපීම් කිරීමෙන් වැඩි දියුණු කිරීම නොවේ. ඇත්ත වශයෙන්ම, IMF එය සුපුරුදු පරිදි කරන්නාක් මෙන්, එහි වැඩ සටහනේ දෙවන සමාලෝචනය සමඟ, මෙම වසරේ ජුනි මාසයේදී එහි ණය තිරසාරත්ව විශ්ලේෂණය යාවත්කාලීන කර ඉලක්ක වෙනස් කර ඇත. ඒ වෙනුවට, කළ යුතුව ඇත්තේ IMF වැඩසටහනේ සහ එහි ණය තිරසාරත්ව විශ්ලේෂණයේ උපකල්පන සහ ඉලක්ක මූලික වශයෙන් සංශෝධනය කිරීම යි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණයහිමියන් සමඟ එවැනි නැවත-සාකච්ඡා කළ හැකිද? ඔව්, 2018 සහ 2021 අතර ආර්ජන්ටිනාව කළේ එයයි. එවැනි නැවත-සාකච්ඡා කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවෙන් ඉවත් වීමේ අවදානමක් ඇති කරයිද? ඔව්, එය එසේ කරයි, නමුත් රට මෙහෙයවීමට සහ ජනතාවගේ පැවැත්ම තහවුරු කිරීමට සමත් නව ජනාධිපතිවරයෙකුගෙන් ඉල්ලා සිටිනු ලැබෙන දේශපාලන අධිෂ්ඨානය එයයි.
ජාමූඅ හි ණය තිරසාරත්ව විශ්ලේෂණය පිළිබඳ බොහෝ ගැටලු තිබේ. පළමුව, එය බාහිර හා දේශීය ණය ඒකාබද්ධ කරයි; ශ්‍රී ලංකාව විදේශ ණය පැහැර හැරිය නිසා විදේශ විනිමය සීමාකිරීම් ඇතිවූ අතර එමනිසා ණය සහන අවශ්‍ය විය. නමුත්, දේශීය ණය රුපියල් වලින් පවතින බැවින් දීර්ඝ කළ හැකිය.
දෙවනුව, එහි සමාජ පිරිවැය සහ ආණ්ඩුවට එරෙහිව ඇති විය හැකි දේශපාලන පසුබෑම සැලකිල්ලට නොගෙන, 2025 වන විට ශ්‍රී ලංකාවට 2.3% ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් දැරිය හැකි බව එය උපකල්පනය කරයි. තෙවනුව, එය 2027 සිට දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% ක මූලික ණය සහ පොලී ගෙවීම් වලින් සමන්විත බාහිර සේවාකරණයක් කළ හැකි යැයි උපකල්පනය කරයි. කෙසේ වෙතත්, එවැනි ණය හා පොලී ගෙවීමක් ප්‍රක්ෂේපිත ආදායමෙන් 30%ක් හෝ ප්‍රක්ෂේපිත අපනයනවලින් 30% කට සමාන වන අතර, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය ඇතුළු රාජ්‍ය සේවා තවදුරටත් මිරිකීමටත්, ආර්ථිකයේ අනාගත වර්ධනය අඩාල කිරීමටත් හේතු වේ. අවසාන වශයෙන්, එය 2027 සිට සෑම වසරකම දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.8% ක මට්ටමට එන පරිදි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර දියත් කරමින් ණය ගැනීම උපකල්පනය කරයි. එම ණය එම වසරේ ඇ.ඩො.බිලියන 1.5 ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වටිනාකමක් ගන්නා අතර, ඉන් පසු සෑම වසරකම දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට සමානුපාතිකව වැඩි වේ.
විකල්ප ණය තිරසාරත්ව විශ්ලේෂණය
මෙම උපකල්පන සියල්ල ප්‍රතික්ෂේප කරමින් විකල්ප ණය තිරසාරත්ව විශ්ලේෂණයක් ආරම්භ කළ යුතුය. විදේශ සහ දේශීය ණය වෙන වෙනම සලකා බැලිය යුතු අතර, වඩා වැඩි සමාජ සුබසාධන වියදම් හරහා ජනතාවගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරාලීම සහ ආර්ථික වර්ධනය දිරිමත් කිරීම සඳහා රාජ්‍ය ආයෝජන යන දෙකරුණම ආමන්ත්‍රණය කිරීමට හිඟ-මූල්‍යනය [එනම්, ආණ්ඩුවේ ආදායමට වැඩියෙන් වියදම් කිරීම]සඳහා ඉඩ ලබා දිය යුතුය. විශේෂයෙන්ම, ප්‍රාථමික අයවැය ඉලක්ක ශ්‍රී ලංකාවේ සම මට්ටමේ රටවල මට්ටම් වලට තිබිය යුතුය, හෝ අර්බුදය හේතුවෙන් ඊටත් වඩා අඩු විය යුතු ය, එනම් එය වත්මන් ජාමූඅ ඉලක්කයට වඩා අවම වශයෙන් 3% කට වඩා අඩු විය යුතුය. මීළඟට, 2027 න් පසු ඉහළ විදේශ ණය හා පොලී ගෙවීමට යාම තවත් හදිසි පහරකින් ශ්‍රී ලංකාව ආපසු ණය ගෙවීම පැහැර හැරීමට තුඩු දෙන තත්වයට ගමන් නොකරන පරිදි, ණය හිමියන්ගෙන් බොහෝ ඉහළ ණය සහන අවශ්‍ය වේ.
ශ්‍රී ලංකාවේ ණය උගුල සහ ණය ගෙවීම පැහැර හැරීමම අධික පොලී සහිත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ගැනීම් සමඟ සම්බන්ධ වී ඇති හෙයින්, ණය තිරසාරභාවය විශ්ලේෂණයට අනාගතයේදී එවැනි වෙළඳපල ණය ගැනීම් ඇතුළත් නොකළ යුතුය. ඇත්ත වශයෙන්ම, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මූල්‍යකරණයේදී යෝජිත දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.8% අඩු කිරීමෙන්, දළ දේශීය නිෂ්පාදිතයේ 4.5% බාහිර ණය හා පොලී ගෙවීමේ ඉලක්කය පළමුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.7% දක්වා අඩු කළ යුතුය. කෙසේ වෙතත්, එය පමණක් ණය තිරසාරභාවය පිළිබඳ ගැටළුව විසඳන්නේ නැත. මන්ද ආපසු ගෙවීමේ හැකියාව ගණනය කළ යුත්තේ, ශ්‍රී ලංකාවේ විදේශ ඉපැයීම් තත්වය අනුව පවත්වාගෙන යා හැකි, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ (උදාහරණයක් ලෙස යන්ත්‍රෝපකරණ ආදියෙහි) නිෂ්පාදන ආයෝජන සඳහා වන ආනයන බිල්පත මත පදනම්ව වන හෙයිනි.
අනාගත ප්‍රමුඛතා
ශ්‍රී ලංකාවේ ණය හිමියන් පසුගිය වසර පහළොව තුළ ඉහළ පොලී ගෙවීම් උද්ධරණය කිරීමෙන් කෙටි කාලයකින් සහ සුළු උත්සාහයකින් විශාල මුදලක් උපයා ගැනීම දැනටමත් සිදු කර ඇති බැවින්, ඇත්ත වශයෙන්ම වඩා බෙහෙවින් ඉහළ මට්ටම් වල ණය සහන ලබා දීමක් ඔවුන්ට දරාගත හැකිය. තවද, ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයේ ඉදිරි මාවත රඳා පවතින්නේ, ගෝලීය දකුණේ රටවල් හැත්තෑවකට අධික සංඛ්‍යාවක ණය පීඩාවට හේතුවන එවැනි ගෝලීය මූල්‍ය සපයන්නන් වෙත ලංකාව ආපසු නොයෑම මත ය.
මගේ පසුගිය තීරු ලිපිවල මා තර්ක කර ඇති පරිදි IMF අපට ඇපදීමක් කර නොමැති අතර, පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා ආර්ථිකය දුවන්නේ තමන්ගේම විදේශ ඉපැයීම් මත ය; ලංකාවට ලැබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෙවීම් මසකට ඩොලර් මිලියන 60කට සමාන වන අතර ශ්‍රී ලංකාවේ විදේශ ඉපැයීම් මසකට ඩොලර් මිලියන 1,800කි. ඇත්ත වශයෙන්ම, අපි පසුගිය වසර දෙක තුළ ජාමූඅ ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙත ණය ආපසු ගෙවීම සඳහා ඩොලර් බිලියන 2 කට ආසන්න මුදලක් ගෙවා ඇත. තවද, වසර හතරක කාලය තුළ ලබා දී ඇති ඇමරිකානු ඩොලර් බිලියන 3 ක වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව ඉදිරි වසර දහය තුළ ජාමූඅ ට පොළිය පමණක් ඩොලර් බිලියන 2 ක් ගෙවනු ඇත. පැහැදිලිවම, ජාමූඅ බේරුම්කරුගේ සහ ණයහිමියාගේ භූමිකාවන් ඉටුකිරීමේ දී ද ළබැඳියාවන් පිළිබඳ ගැටුමක් ද පවතී.
මේ සියල්ලෙන්ම කියැවෙන්නේ, ඕනෑම නව ආණ්ඩුවක් දැඩි ලෙස සාකච්ඡා කළ යුතු බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉවත්ව යාම පිළිබඳ ත්‍රාසද්ග්‍රහණය නැතහොත් (නැතහොත් එසේ තර්ජනය කොට බියවැද්දීම), ණයහිමියන් කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නැඹුරුව සහ ශ්‍රී ලංකාව දැන් යළි ණය පැහැර හැරීමට සහ පිරිහීමට කටයුතු සකසා ඇති ආකාරය හෙළි කරන්නක් ලෙස අභිමුඛ විය යුතුය. බලයට පත්වන ඕනෑම නව ආණ්ඩුවක්, වටකොට පහර දෙනු ලැබ සිටින පුරවැසි සමූහයාට සහන සැලසීමට සහ වත්මන් ආර්ථික අවපාතයෙන් මිදීමට සැලසුම් කරන්නේ කෙසේදැයි පළමුව ගෙනහැර දැක්විය යුතු අතර, බාහිර ක්‍රියාකාරිකයන් සම්බන්ධයෙන් වන ඕනෑම ආධාරයක් හෝ ගිවිසුමක් එම දේශීය ප්‍රමුඛතාවයන්ට ද්විතියික විය යුතුය.
මැතිවරණයෙන් පසු වසරේ, අපේ වැඩ කරන ජනතාවගේ විශ්‍රාම අරමුදල්වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් අසන්තක කර ඇති පසුගිය වසරේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මහා අසාධාරණය ආණ්ඩුව විසින් විශ්‍රාම අරමුදල් ප්‍රාග්ධනකරණය කොට නිවැරදි කළ යුතුය. තවද, ආහාර අනාරක්ෂිත භාවය, ආබාධකරණ සුළු ජීවන වියදම සහ කඩාකප්පල් වූ ජීවනෝපායන් පිළිබඳ කරුණු ආමන්ත්‍රණය කිරීම ප්‍රධාන තැනක් ගත යුතුය. මධ්‍ය කාලීනව, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ සාධ්‍ය සංවර්ධන මූල්‍යකරණය සඳහා වඩා හොඳ කොන්දේසි සාකච්ඡා කිරීම සඳහා ණයගැති රටවල සන්ධානයක් ගොඩ නැඟීම දිශාවට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතුය. මේ අතර, මෙම ජාමූඅ ගිවිසුමේ ශාපය නැවත සාකච්ඡා කිරීමට මැතිවරණ වාද විවාද සහ මැතිවරණය විසින්මත් ජනවරමක් ලබා දිය යුතුය.
2024 සැප්තැම්බර් 2 වැනි දින Daily Miror පුවත් පත Elections, Debt Sustainability and IMF Blackmail මැයෙන් පළ කළ ලිපියේ සිංහල පරිවර්ථනය සංස්කරණය ‘කතිකා’ විසිනි.
Leave a comment