Home Press Release ප්‍රජාතන්ත්‍රවාදී නීති ප්‍රතිසංස්කරණ සිදු කරන බවට පොරොන්දු වන ලෙස යුක්ති සංවිධානය සියලු ම ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ඇයද සිටියි.
Press Release

ප්‍රජාතන්ත්‍රවාදී නීති ප්‍රතිසංස්කරණ සිදු කරන බවට පොරොන්දු වන ලෙස යුක්ති සංවිධානය සියලු ම ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ඇයද සිටියි.

17
People's Act on Repression

පසුගිය වර්ෂවල දී සම්මත කර ගන්නා ලද සහ යෝජනා කරන ලද බොහෝ ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ පීඩාකාරී නීතිවල ඍණාත්මක බලපෑම් ඉවත් කරන බවට සහ ආපසු හරවන බවට පොරොන්දු වන ලෙස ‘යුක්ති සාමුහිකය’ සියලු ම ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියි. නීති සම්පාදන ක්‍රියාවලිය සහ යෝජිත නීතිවල හරය පිළිබඳව ස්ථිර සහ පැහැදිලි න්‍යාය පත්‍රයක් සකස් කිරීමේ වැදගත්කම ද මෙම සාමූහිකය අපේක්ෂකයින්ට පැහැදිලි කර දෙයි.

පසුගිය කාලයේ පැවති දුර්වල ප්‍රජාතන්ත්‍රවාදී නීති සම්පාදනය සහ පීඩාකාරී නීතිවල වර්ධනය

පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ පැවති නීති ප්‍රතිසංස්කරණ පසුබිම මගින් නීති සම්පාදනය කිරීම කෙතරම් දැඩි ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධී විය හැකිද සහ එසේ වී තිබේද යන්න ඉස්මතු කර පෙන්වයි. ආර්ථික අර්බුදයේ සිට ජාතික ආරක්ෂාව දක්වා වූ පුළුල් පරාසයක විවිධ තර්ජන යටතේ ජනතාවගේ නිදහස පිළිබඳ හැඟීම මර්දනය කරන, සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ සමාජ හා ආර්ථික අයිතිවාසිකම් ද සීමා කරන නීති සහ නෛතික විධිවිධාන කිහිපයක් හඳුන්වා දී ඇත. රජය ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් එළඹෙන ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳව, විශේෂයෙන් ම එම ගිවිසුම් අපගේ ජීවිතවලට සහ සංවර්ධනයට බලපෑමක් ඇති කරන විට, මහජනතාවට ඒවා පිළිබඳව පරීක්ෂා කර බැලීමට අවස්ථාව නොලැබෙන නිසා ජනතා පරමාධිපත්‍යය අර්ථ විරහිත දෙයක් බවට පත්වී ඇත. පසුගිය මාස 30 ක කාලය තුළ නීති හෝ නීති සංශෝධන ආසන්න වශයෙන් 102 ක් සම්මත කර ගෙන ඇත. එම නීති වලින් 35% ක් පමණ ජනතාවගේ ආර්ථිකයට හා ආර්ථික අයිතිවාසිකම්වලට අදාළ නීති වන අතර, එම නීතිවල කෙටි කාලීන හා දිගුකාලීන ප්‍රතිවිපාක පිළිබඳව සම්පූර්ණයෙන් ම අවබෝධ කර ගැනීමට මහජනතාවට අවස්ථාව ලැබී නැත. රහසිගතව කටයුතු කරමින් ගෙන එන නීති, කඩිමුඩියේ ගෙන එන නීති, අදහස් විමසීකින් තොරව ගෙන එන නීති, පසුබිම් තොරතුරු හෝ සාධාරණීකරණයක් නොමැති නීති අතීතයට අයත් දේ බවට පත් කළ යුතු ය.

ප්‍රජාතන්ත්‍රවාදී නීති සම්පාදනය කරන බවට පොරොන්දු වෙන්න

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී නීති සම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පැහැදිලි කැපවීමක් තිබිය යුතු ය. ස්වාධීන අධිකරණයක් තිබීම සහ නීති බලාත්මක කිරීමට පෙර සහ ඉන් පසු එම නීති පිළිබඳ කඩිනම් අධිකරණ සමාලෝචනයක් සිදු කිරීම මෙම කැපවීම සඳහා මූලික අවශ්‍යතාවයක් වේ. එලෙසින් ම, අදාළ සහ යෝග්‍ය නීති සම්පාදනයක් සඳහා බලය විමධ්‍යගත කළ යුතු වන අතර, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඒ සඳහා ආරම්භක පියවරක් වේ. මෙම ක්‍රියාවලියට අනුව, ශ්‍රී ලාංකාවේ ජනතාවට නව නීති සම්පාදනයන් පිළිබඳ අධ්‍යයනය කිරීමට, විකල්ප සලකා බැලීමට, විවේචනාත්මකව විග්‍රහ කිරීමට සහ සමාලෝචනය කිරීමට සහ එම නීති සම්පාදනයන් සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා දීමට ප්‍රමාණවත් කාලයක් ලැබෙන විනිවිදභාවයෙන් යුතු, අදහස් විමසීම් සහ වගවීමක් සහිත ක්‍රියාවලියක් අනුගමනය කරන බවට පොරොන්දු විය යුතුය. අදාළ නීති මගින් බලපෑමට ලක්වන ප්‍රජාවන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් විශේෂයෙන් එම නීති සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කර ගත යුතු ය. රජය නව නීති පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට සහ මහජනතාව විසින් ඒවා පරීක්ෂා කරනු ලැබීමට පහසුකම් සැලසිය යුතු අතර, නීති ප්‍රතිසංස්කරණය සඳහා පෙළඹවීම ලබා දෙන ගැටළු විශ්ලේෂණය කුමක්ද, නීතිය මගින් හඳුන්වා දෙනු ලබන යෝජනා ක්‍රමයේ පිරිවැය කුමක්ද සහ එහි ප්‍රතිලාභ ලැබෙන්නේ කාටද සහ කෙසේද යන්න පිළිබඳ පොදු යහපත සම්බන්ධ කනස්සලු සඳහා සාධාරණීකරණයන් සපයා දිය යුතු ය.

පීඩාකාරී සහ අසාධාරණ නීති අහෝසි කරන බවට සහ ඉවත් කරන බවට පොරොන්දු වෙන්න
පසුගිය වර්ෂ දෙකක කාලය තුළ පනවන ලද සියලු ම අහිතකර නීති පිළිබඳ අවධානය යොමු කර, එම නීති අවලංගු කරන බවට සහ ඉවත් කරන බවට ජනාධිපති අපේක්ෂකයින් පොරොන්දුවීම අතිශය වැදගත් වේ. උදාහරණ ලෙස, 2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත, 2023 අංක 02 දරන පුනරුත්ථාපන කාර්යාංශය පනත සහ 2024 අංක 45 දරන ආර්ථික පරිවර්තන පනත සම්පූර්ණයෙන් ම අහිතකර වන බැවින් ඒවා අවලංගු කළ යුතු වේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් වැඩකරන ජනතාවගේ විශ්‍රාම වැටුප් ඉතුරුම් බලහත්කාරයෙන් අඩු කළ 2023 අංක 14 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත වැනි අනෙකුත් නීතිවලට වැඩකරන ජනතාවගේ ඉතුරුම් යථා තත්ත්වයට පත්කර ඔවුන්ගේ මූල්‍ය සුරක්ෂිතතාවය සහතික කරන නීති ප්‍රතිසංස්කරණ මගින් ප්‍රතිචාර දැක්විය යුතු ය. 2024 අංක 36 දරන විදුලි බල පනත, 2023 අංක 27 දරන ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත සහ 2023 අංක 16 දරන මහ බැංකු පනත වැනි නීති සියල්ලෙහි වැඩකරන ජනතාව සහ දුප්පත් ජනතාව මත බර පැටවෙන විධිවිධාන අඩංගු වන අතර, මහ බැංකු පනතේ විධිවිධාන මගින් මහ බැංකුව කෙරෙහි පාර්ලිමේන්තුවේ අධීක්ෂණය ඉවත් කර ඇත. එබැවින්, මෙවැනි හානිකර නීති ප්‍රතිසංස්කරණ ආපසු හැරවිය යුතු ය. 2023 අගෝස්තු මස ඉදිරිපත් කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත, 2024 පෙබරවාරි මස ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා විකාශන අධිකාරිය පනත් කෙටුම්පතෙහි කෙටුම්පත, 2024 ජනවාරි මස ඉදිරිපත් කරන ලද රාජ්‍ය නොවන සංවිධාන පනත් කෙටුම්පතෙහි කෙටුම්පත, නව කම්කරු නීති සඳහා වන යෝජනා, සත්‍යය, සමගිය සහ සංහිඳියාව සඳහා වන කොමිෂන් සභාව පිළිබඳ පනත් කෙටුම්පතෙහි කෙටුම්පත වැනි මූලික නිදහස දැඩි ලෙස සීමා කරන යෝජිත නීති ඉවත් කර ගත යුතු ය. සමස්තයක් වශයෙන්, අලුතින් හඳුන්වා දී ඇති සහ යෝජනා කර ඇති විවිධ නීති යටතේ අපරාධ වැරදි ගණයට වැටෙන වැරදි වර්ධනය වීම විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු වේ. එවැනි නීති හරහා බලහත්කාරය සහ බිය ගැන්වීම මගින් රාජ්‍ය පාලනය සිදු කිරීම ආපසු හැරවිය යුතුය.

ප්‍රතිපත්ති ප්‍රකාශන මගින් මෙම ප්‍රශ්නය ප්‍රමාණවත් ලෙස ආමන්ත්‍රණය කර නැත

ජනාධිපති ධූරය සඳහා තරග කරන ප්‍රධාන තරගකරුවන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන මගින් ප්‍රජාතන්ත්‍රවාදී නීති සම්පාදනය සඳහා තිබෙන කැපවීම අඩු බව පෙන්නුම් කරයි. ප්‍රධාන නීති ප්‍රතිසංස්කරණ සැලකීමේ දී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට මානව හිමිකම් ආරක්ෂා කරන නව ත්‍රස්ත විරෝධී නීතියක් ගෙන එන බවට, සේවකයන් සහ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා විදුලි බල පනත සංශෝධනය කරන බවට, ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය සහතික කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවන බවට, ගෘහ සේවය පිළිබඳව, සේවා ස්ථානවල සිදු වන හිරිහැර කිරීම් පිළිබඳව සහ කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා කම්කරු නිලධාරීන් වැඩි කිරීම පිණිස නීති බලාත්මක කරන බවට, කාන්තා සහ තරුණ නියෝජනය වැඩි දියුණු කිරීම සඳහා නීති ගෙන එන බවට, සහ අන්තර්ජාල සේවා සපයන්නන්ට ප්‍රතිලාභ සැලසෙන පරිදි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කරන බවට සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වී ඇත. අනුර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට, බලය විමධ්‍යගත කරන බවට, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලු පීඩාකාරී පනත් අහෝසි කරන බවට, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම ඇතුළුව මාධ්‍ය නීති සමාලෝචනය කරන බවට සහ මාධ්‍ය නිදහස වැඩිදියුණු කරන බවට, විශේෂිතව සඳහන් කර ඇති සේවකයින් සඳහා ආරක්ෂණයන් සහ ප්‍රතිලාභ හඳුන්වා දෙන බවට සහ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන බවට, කාන්තා නියෝජනය වැඩි දියුණු කිරීම සඳහා නීති හඳුන්වා දෙන බවට, කාන්තාවන්ට එරෙහි හිංසනය ආමන්ත්‍රණය කරන බවට, ළමයින්ට බලපාන නීති සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගනිමින් වෙනස්කොට සලකන ආකාරයේ නීති ප්‍රතිසංස්කරණය කරන බවට, ආබාධිත පුද්ගලයින් සම්බන්ධ නීති සංශෝධනය කරන බවට, සහ ප්‍රපාතන විරෝධී නීති සහ සාධාරණ වෙළෙඳාම සහ පරිසර ආරක්ෂණය පිළිබඳ නීති හඳුන්වා දීමට පොfාන්දුවී තිබේ. දැඩි ලෙස මහජන විවේචනයට ලක්වී ඇති මෙම කිසිදු නීතියක් අහෝසි කරන බවට හෝ ආපසු හරවන බවට රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු පොරොන්දුවක් ලබා දී නැත. ප්‍රධාන අපේක්ෂකයකු නොවුන ද නුවන් බෝපගේ මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වී ඇති බව සඳහන් කිරීම වැදගත් වේ. එමෙන් ම, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි පීඩාකාරී නීති අහෝසි කර ඒ හා සමාන පීඩාකාරී නීතියක් ගෙන ඒම වළක්වන බවටත්, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත, පුනරුත්ථාපන කාර්යාංශය පනත සහ දූෂණ විරෝධී පනත වැනි නීති අහෝසි කරන බවටත් ඒ මහතා පොරොන්දු වී ඇත. තවද, ජනතා පරමාධිපත්‍යයට බාධාකාරී වන සහ මුදල් හා මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ තීරණය කිරීමේ අයිතිවාසිකම් සීමා කරන නීති ඉවත් කිරීමට ද ඒ මහතා පොරොන්දු වී ඇති අතර, ශ්‍රී ලංකා මහ බැංකු පනත, ආර්ථික පරිවර්තන පනත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ඒ සඳහා උදාහරණ ලෙස නම් කර ඇත. නීති බලාත්මක කිරීමෙන් පසු එම නීති අධිකරණ සමාලෝචනයට ලක් කිරීමේ ක්‍රමයක් හඳුන්වා දෙන බවට ද ඒ මහතා පොරොන්දු වී ඇත.

සමස්තයක් ලෙස, ප්‍රජාතන්ත්‍රවාදී නීති සම්පාදනයන් සිදු කරන බවටත්, පසුගිය වසර දෙකක කාලය තුළ හඳුන්වා දෙන ලද නීතිවල ඇති විනාශකාරී ප්‍රවණතා අවලංගු කරන බවට සහ ආපසු හරවන බවටත් මෙම ජනාධිපතිවරණයේ ප්‍රධාන තරගකරුවන් විසින් ප්‍රමාණවත් පරිදි පොරොන්දු ලබා දී නොමැති බව පැහැදිලි වේ. සම්මත කරනු ලැබ ඇති සෘණාත්මක නීතිවලින් ඇතිකරන හානිකර බලපෑම පිළිබඳව දැඩි ලෙස සලකා බලන ලෙසටත්, මෙම නීති පිළිබඳ පැහැදිලි ප්‍රතිපත්තිමය පොරොන්දු ප්‍රකාශට පත්කර ඒවා අනුගත කරගන්නා ලෙසටත් ‘යුක්ති සාමුහිකය’ සියලු අපේක්ෂකයින්ගෙන් අයැද සිටියි.

අපි අපේක්ෂා කරන වෙනස

අලුත්නි හඳුන්වා දෙනු ලබන නීති ශ්‍රී ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍යය පිළිගනිමින්, ශක්තිමත් සහ අර්ථාන්විත අදහස් විමසීමේ ක්‍රියාවලීන් තුළින් බිහිකරන නීති විය යුතු ය. සුරක්ෂිත හා ගෞරවාන්විත ජීවිතයක් සඳහා ඇති අයිතිය, සමාජ හා ආර්ථික අයිතිවාසිකම්, විමධ්‍යගත තීරණ ගැනීම, පාරිසරය ආරක්ෂා කිරීම සහ විනිවිදභාවයෙන් යුතු සහ වගකීම් සහගත පාලනයක් සඳහා ව්‍යවස්ථාමය පොරොන්දු ලබා දිය යුතුය.

දීර්ඝ කාලයක සිට අපේක්ෂාවෙන් සිටි ප්‍රතිසංස්කරණ වන, ව්‍යවස්ථාදායකය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම, වැඩ කරන ජනතාවට ඔබින වැටුප්, වෘත්තීය සෞඛ්‍යය සහ ආරක්ෂාව සහ ගෞරවනීය සේවා තත්ත්වයන් සපයා දීම, පුද්ගල සහ වෙනත් නීතිවල තිබෙන වෙනස්කොට සලකන ආකාරයේ විධිවිධාන ඉවත් කිරීම, ආන්තික කණ්ඩායම්වලට එරෙහිව ඇතුළුව සිදු කෙරෙන සියලු ආකාරවල ප්‍රචණ්ඩත්වයන්ට විසඳුම් ලබා දීම, සහ නඩුමගට යොමු වන සාමාන්‍ය ජනයාට මෙන්ම යුක්තිය, සත්‍යය සහ වගවීම සොයමින් සිටින, ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් වූ සියලු ම පුද්ගලයන්ට යුක්තිය වෙත ප්‍රවේශය සඳහා පහසුකම් සැලසීම සිදු කළ යුතු වේ.

නීති සම්පාදනය මගින් සියලු දෙනා ආරක්ෂා කිරීම අරමුණු කරමින්, වඩාත්ම අවදානමට ලක්විය හැකි කණ්ඩායම් පිළිබඳ සැලකිල්ල දැක්විය යුතු අතර, රට තිරසාර ලෙස සංවර්ධනය කරන බව සහතික කළ යුතුය.

‘යුක්ති සාමුහිකය’ යනු ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාවගේ ව්‍යාපාරවලට සහ ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය සඳහා වන ජනතා අරගලවලට සහාය දක්වන බහුවිධ පර්යේෂණ සංසදයකි. මෙම සංසදය මිනිසුන්ගේ ජීවිත පිළිබඳ අවබෝධය ප්‍රවර්ධනය කිරීම, විවේචනාත්මක විශ්ලේෂණ සිදු කිරීම සහ නව ලිබරල්වාදයට විකල්ප සැපයීම සඳහා කැපවී සිටියි. ‘යුක්ති සාමුහිකය’ යනු ප්‍රායෝගික අත්දැකීම් සහිත ප්‍රවීනයන්ගේ, වෘත්තීයවේදීන්ගේ, වෘත්තිකයන්ගේ, පර්යේෂකයන්ගේ සහ ශාස්ත්‍රඥයින්ගේ සහයෝගීතාවයකි. යුක්ති සාමූහිකය සහ එහි ප්‍රයත්නයන් පිළිබඳ වැඩිදුර දැන ගැනීම සඳහා යුක්ති වෙබ් අඩවියට පිවිසෙන්න – www.yukthisl.org

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles

Press Release

ஜனநாயக சட்ட சீர்திருத்தங்களுக்கு உறுதியளிக்குமாறு ஜனாதிபதி வேட்பாளர்கள் அனைவரிடமும் யுக்தி வேண்டுகோள்

Media Release 13th September 2024 சமீப ஆண்டுகளில் நிறைவேற்றப்பட்ட மற்றும் முன்மொழியப்பட்ட பல ஜனநாயக...

Press Release

YUKTHI Calls All Presidential Candidates to Commit to Democratic Law Reforms

Media Release 13th September 2024 Yukthi urges Presidential candidates to commit to...

Press Release

தேர்தலுக்குப் பிந்தைய பொருளாதாரக் கொள்கை பற்றிய 10 முக்கியமான கேள்விகளுடன் ஜனாதிபதி வேட்பாளர்களுக்கு “யுக்தி” கூட்டு சவால்

பத்திரிக்கை செய்தி 6 செப்டம்பர் 2024, கொழும்பில், நாட்டின் எதிர்காலத்தை வடிவமைக்கும் முக்கியமான ஜனாதிபதித் தேர்தலை...