මාධ්‍ය නිවේදනය
2024.06.11
“මේ පාරෙන් ගොඩයයිද? ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ අනාගතය” යන මැයෙන් වූ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ වන ගණුදෙනුව පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් බෙදාගැනීම සඳහා වූ සම්මන්ත්‍රණයක් සිවිල් සමාජ නියෝජිතයින්, දේශපාලනඥයන්, සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් හා පොදු මහජනතාවගේ සහභාගීත්වයෙන් ජුනි 10 වන දින කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වින. මේ සඳහා ආර්ජන්ටිනාවේ හිටපු ආර්ථික අමාත්‍ය, දැනට නිව් යෝර්ක්හි කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය මාර්ටින් ගුස්මාන්, ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ සහ මැසචුසෙට්ස් ඇම්හර්ස්ට් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ, ජාත්‍යන්තර සංවර්ධන ආර්ථික විද්‍යා ආශ්‍රිත සහයෝගීතාවයේ (IDEAs) සම-නිර්මාතෘ මහාචාර්ය ජයති ඝෝෂ් සහ ජාත්‍යන්තර සංවර්ධන ආර්ථික විද්‍යා ආශ්‍රිත සහයෝගීතාවයේ (IDEAs) අධ්‍යක්ෂක ඝානාවේ චාර්ල්ස් අබුග්‍රේ සහභාගී විය. මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරනු ලැබූයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය වෙනුවෙන් කටුතු කරන මහජන ව්‍යාපාරවලට සහ මහජන අරගලයන්ට සහාය දැක්වීම සඳහා වන පර්යේෂණ සහ උපදේශනයන්හි යෙදී සිටින ක්‍රියාකාරීන්ගේ සහ විද්වතුන්ගේ වේදිකාවක් වන “යුක්ති” සාමූහිකය විසිනි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයන් මූලික කරගෙන දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වැඩසටහන සම්බන්ධයෙන් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම පිළිබඳ විවිධ රටවල අත්දැකීම් පිලිබඳ මෙයට සහභාගීවූ ප්‍රවීණයින් විසින් මූලික අදහස් දැක්වීම් සිදුකරන ලදී. පුද්ගලික ණය හිමියන්ට අයත් බාහිර ණයට අධික ලෙස නිරාවරණය වීම හේතුවෙන් ආර්ජන්ටිනාව, 2000 මුල් දශකයේ සිට දිගින් දිගටම ආර්ථික කම්පනයන්ට මුහුණදෙද්දී මාර්ටින් ගුස්මාන් ආර්ජන්ටිනාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙහෙයවූ අතර, එහිදී ග්‍රීසියෙන් පසු ලෝකයේ දෙවන විශාලතම, ස්වෛරී බැඳුම්කර ණය කපාහැරීම (55%ක්) සිදුකිරීමට ඔහු සමත්විය. එහිදී සිය අත්දැකීම සම්බන්ධයෙන් ඔහු විසින් මෙහිදී අදහස් දක්වන ලදී.
ඊට බොහෝ සෙයින් සමානවූ, ඝානාවේ විදේශ ණය අර්බුදය සහ ශ්‍රී ලංකාවේ තත්ත්වය අතර සංසන්දනයක් ඉදිරිපත්කළ චාර්ල්ස් අබුග්‍රේ කියා සිටියේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයක් ආපසු ගෙවීම පැහැර හැරීමෙන් පසුව, ඝානාවද ශ්‍රී ලංකාව මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඔවුන්ගේ 17 වන ගිවිසුමට එලැඹ ඇති බවයි.
ශ්‍රී ලංකාව මෙන්ම ඝානාව ද පසුගිය දශක හතර තුළම දිගින් දිගටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් මත විශ්වාසය තබා ඇති නමුත් රටවල් දෙකම අර්බුදයයෙන් ගොඩ ඒමට අසමත්ව ඇති බවත් අර්බුදය තවමත් අවසන් වී නැති බවත් අබුග්‍රෙ අවධාරණය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් ණයගැති රාජ්‍යය සහ ණයහිමියන් අතර අපක්ෂපාතී එකක් නොවන බවත්, එහි උපදෙස් තනිකරම තාක්ෂණික නොවන බවත් ඔහු පැහැදිලි කළේය. ඒ වෙනුවට, පුද්ගලික ප්‍රාග්ධනයට පක්ෂපාතී වන එහි විශාලතම කොටස් හිමියන් විසින් ආධිපත්‍යය දරන ආයතනයක් ලෙස ක්‍රියාත්මකවීමේදී දේශපාලන සාධක ප්‍රධාන වන බව ඔහු අවධාරණය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ගැන ප්‍රශ්ණ කරමින් ශ්‍රී ලංකාව ස්වකීය ජාතික සහ සංවර්ධන න්‍යාය පත්‍රය මත පදනම්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට සහභාගී විය යුතු බව ඔහු තර්ක කළේය.
ණය නිසා පීඩාවට පත් රටවලට ඔවුන්ගේම ණයවල තිරසාරභාවය පිලිබඳ විශ්ලේෂණයක් තිබිය යුතු බවත්, එවැන්නකින් තොරව ෂඵත් විසින් සකස් කරන ලද නිර්දේශ ඒ ආකාරයෙන්ම පිලිගැනීම නොකල යුත්තක් බවත් මාර්ටින් ගුස්මාන් විස්තර කළේය. ආර්ජන්ටිනාව වෙනුවෙන් එහි ණය හිමියන් සහ ෂඵත් සමඟ ප්‍රධාන සාකච්ඡාකරුවෙකු ලෙස කටයුතු කළ ඔහු කියා සිටියේ ජාත්‍යන්තර නීතිය තුල ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යාන්ත්‍රණයක් නොමැති බවයි. විවිධ ණය හිමියන් සමඟ තනි තනිව සාකච්ඡා කර වෙනම ගිවිසුම්වලට එළඹීම හැර ණයගැති රාජ්‍යයන්ට වෙනත් විකල්පයක් නොමැති බව ඔහුගේ අදහස විය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ සාර්ථක ලෙස සාකච්ඡා මෙහෙයවීමට නම් මූල්‍ය, පිස්කල් සහ ඵලදායීතාව සම්බන්ධ කාරණාවන් සම්බන්ධයෙන් පැහැදිලි ජාතික ප්‍රතිපත්ති අවශ්‍ය බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග පිළිපැදීම හැර වෙනත් විකල්පයක් රටවලට නැත යන මතය මිථ්‍යාවක් යැයි ඔහු අභියෝග කළේය. ඔහු මුදල් අමාත්‍ය ධූරය දැරූ කාළය තුල සිදුකළ ආර්ජන්ටිනාවේ සාර්ථක ණය ප්‍රතිව්‍යුහගත කිරීම එවැනි විකල්පවල හැකියාව පිලිබඳ සාක්ෂියක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
අන්තර්ජාතික සන්දර්භය පිලිබඳ අදහස් පළකළ මහාචාර්ය ජයති ඝෝෂ් ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම ඇතුළුව ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙලඳපොලෙන් ණය ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව දිරිමත් කළ බව කියා සිටියාය. ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරන ලද ප්‍රාග්ධන ගිණුම් ලිහිල් කිරීමේ ආර්ථික උපායමාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරන ලදී. ස්වෛරී බැඳුම්කරවල අතිශය ඉහල පොලී අනුපාත හේතුකොටගෙන දැනටමත් එහි හිමිකරුවන්ට ප්‍රතිලාභ හිමිකොට දී ඇති බව මහාචාර්ය ඝෝෂ් තවදුරටත් අවධාරනය කළාය. ණය කප්පාදු කිරීම තීරණය කිරීමේදී මෙසේ එකී ණය හිමියන් ඉහල ප්‍රතිලාභ හිමිකරගෙන ඇති බව මතක තබා ගත යුතුය. තවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවන ලද ආර්ථික ප්‍රතිසංස්කරණවල බර සාමාන්‍ය ජනතාවට, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහ විශේෂයෙන්ම සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සුභසාධන වියදම් සඳහා වන රාජ්‍ය වියදම් කපා හැරීම වැටුප් නොලබන රැකවරණ වගකීම් ඉටුකරමින් පවුලේ ආර්ථීක කම්පනයන් අවශෝෂණය කරගන්නා කාන්තාවන්ට විශාල බලපෑමක් ඇති කරන බව ද මහාචාර්ය ජයති ඝෝෂ් අවධාරණය කරන ලදි. අර්බුදය සම්බන්ධයෙන් අවම වගකීමක් ඇති සමාජයේ එම කොටස් මත අර්බුදයේ බර පැටවීම නොකල යුත්තක් බව ඇය අවධාරණය කළාය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමින් අනෙකුත් ණය ගැති රටවල් සමඟ සම්බන්ධීකරණය කිරීමේ අවශ්‍යතාවය, IMF හා පුද්ගලික ණය හිමියන්ගේ අවශ්‍යතා සුරක්ෂිත කිරීමේ එහි භූමිකාවට එරෙහිවීමේ අවශ්‍යතාවය සහ ආර්ථික හා ණය අර්බුදයෙන් පීඩා විඳින දුප්පත් රටවල් සඳහා සාධාරණත්වය ඉටුකර ගැනීමේ අවශ්‍යතාවය ද ඇය අවධාරනය කළාය.
මහජන සම්මන්ත්‍රණයට සවන්දීම සඳහා “යුක්ති” යූටියුබ් නාලිකාවේ සජීවී සබැඳිය: https://youtube.com/live/3SF2L0nh_l4
මාධ්‍ය නිවේදනය භාගත කර ගැනීම සඳහා ලින්කුව:https://drive.google.com/drive/folders/1zM1T0-Ep0ayBZOQRu_t9Z-vBU8f9htou?usp=share_link
Leave a comment