2024 සැප්තැම්බර් 30
ශ්‍රී ලංකාවේ බොහෝ කාලයක සිට බලාපොරොත්තුවෙන් සිටි ජනාධිපතිවරණයට දින දෙකකට පෙර, එනම් 2024 සැප්තැම්බර් 19 වැනි දින, සහ මැතිවරණයට පෙර නිහඬ කාලසීමාව ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් පසුව, රජය සිය වාණිජ ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවකට පැමිණ ඇති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) විසින් සිදු කරන ලද ණය තිරසාරභාවය පිළිබඳ දෝෂ සහිත විශ්ලේෂණක් පදනම් කරගෙන සිදු කර ඇත.
මෙම ණය තිරසාරභාවය පිළිබඳ විශ්ලේෂණය මගින් 2027 වර්ෂය වන විට මුල් ණය මුදල සහ පොළී ආපසු ගෙවීම් වලින් සමන්විත වන විදේශ ණය සේවාකරණයේ සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% ක ඉලක්කයක් නියම කර ඇත. මෙය රාජ්‍ය වියදම් සඳහා දැරිය යුතු වන පිරිවැය කැපකර, ප්‍රක්ෂේපිත ආදායම් වලින් 30% ට සමාන මුදලක් වියදම් කිරීමක් වේ. තවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අවසන් වන විට ශ්‍රී ලංකාව ප්‍රාග්ධන වෙළඳපොළ වෙත නැවත පිවිසීම සඳහා පහසුකම් සැලසීමට ද මෙම ණය තිරසාරභාවය පිළිබඳ විශ්ලේෂණය අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාව සෑම වර්ෂයක දී ම දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.8% ක් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල පා කිරීමට ද අපේක්ෂා කරන අතර, 2027 වර්ෂයේ දී එය ඩොලර් බිලියන 1.5 ක් වනු ඇත. මෙලෙස දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.8% ක් ඉතා ඉහළ පොළී අනුපාත යටතේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වල පා කරනු ලබන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% ක් වූ විදේශ ණය ගෙවීම සඳහා ය. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරභාවය පිළිබඳ විශ්ලේෂණය ශ්‍රී ලංකාවට ණය උගුලක් අටවමින් සිටියි.
මෙම බැඳුම්කර ගනුදෙනුව මගින් වර්ෂ 2025-2027 අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ ඩොලර් – දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයෙහි මට්ටම හා බැඳුණු ඉහළ පොළී සහ මුල් ණය මුදල් ආපසු ගෙවීම් මත උපකල්පිත සාර්ව-සම්බන්ධිත බැඳුම්කර සඳහා ද විධිවිධාන සලසයි. මෙම ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය අනුව ශ්‍රී ලංකාව මෙම කාල පරිච්ඡේදය තුළ ද්විපාර්ශ්වික සහ වාණිජ ණය හිමියන්ට කිසිදු ණය මුදලක් ආපසු ගෙවීමෙන් වැළකී සිටින බැවින් රුපියල අධිප්‍රමාණය වීමට ඉඩ ඇති අතර, එය රටේ ඩොලර් දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාමට හේතු වනු ඇත. තවද, රුපියල අධිප්‍රමාණය වීම හේතුවෙන් විදේශ ණය සේවාකරණය සඳහා අවශ්‍ය කරන විදේශීය ඉපැයීම් ප්‍රමාණය ද පහත වැටීමට ඉඩ තිබේ.
බැඳුම්කර හිමියන්ගෙන් ලැබෙන ණය සහනය අඩු වන බවත්, ශ්‍රී ලංකාවට එවැනි ඉහළ මට්ටමේ ණය සේවාකරණයක් ආරම්භ කිරීමට සිදු වූ විට ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම් පැහැර හැරීමට ඉඩ ඇති බවත් මෙම ප්‍රවණතාවයෙන් අදහස් කෙරෙයි. මෙය ශ්‍රී ලංකාවට අහිතකර ගනුදෙනුවක් වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බැඳුම්කර හිමියන් සමග සම්බන්ධ බැවින් එය බැඳුම්කර හිමියන්ට හැකි තාක් ධනය සූරා ගැනීමට අවස්ථාව සලසා දෙයි.
එමෙන්ම, මෙම බැඳුම්කර ගනුදෙනුව සංවර්ධනය වෙමින් පවතින රටවල ස්වෛරී ණය ගිවිසුම්වලට අදාළ අනාගත ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සඳහා නරක පූර්වාදර්ශයක් ද සපයයි. බැඳුම්කර හිමියන්ට ආපසු අයකර ගත හැකි මුදලෙහි වටිනාකමට පවතින නීති මගින් බලපෑමක් ඇතිවනවාට බැඳුම්කර හිමියන්ට කැමති නැත. ඒ අනුව, ඔවුන් අධිකරණ තන්ත්‍රය ඉංග්‍රීසි හෝ ඩෙලවෙයාර් නීතියට වෙනස් කරන ලෙස ඉල්ලා සිටිය හැකි යාන්ත්‍රණයක් හඳුන්වා දෙයි. මෙමගින් දැනට බලපලැවැත්වෙන නීති වෙනස් කිරීම මගින් පවා බැඳුම්කර හිමියන්ට ඔවුන්ගේ ණය ආපසු අයකර ගත හැකි වන බව සහතික කර ගැනීමට ඉඩ සලසා දෙන අතර, එය ශ්‍රී ලංකාවට පීඩනයක් එල්ල කරමින් රටේ පුරවැසියන්ගේ උපරිම යහපත නොසලකා හැරීමට රජයට බල කරයි.
මෙම බැඳුම්කර ගනුදෙනුව පිළිගන්නා ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායකට ප්‍රබල ජාත්‍යන්තර ක්‍රියාකාරීන්ගෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ. අපනයන වර්ධනය වනු ඇති බවටත්, සංචාරක කර්මාන්තයේ ඉපැයීම් ඉහළ යනු ඇති බවටත් කරන ප්‍රකාශවල වලංගු භාවයක් අති බවක් පෙනෙන්නට නැත. ගෝලීය ආර්ථික පසුබෑම අපනයන පාදක වර්ධනයක් අත්කර ගැනීම සඳහා උත්සාහ කරන රටවල් අතර ගුණාත්මක භාවය පිරිහීමට තුඩු දෙන ආකාරයේ තරගකාරීත්වයක් නිර්මාණය කර ඇති අතරම සංචාරක ක්ෂේත්‍රය අස්ථාවර සහ බාහිර කම්පනවලට ගොදුරු වීමට ඉඩ තිබෙන තත්ත්වයකට පත්වී තිබේ.
බැඳුම්කර හිමියන් සමග ඇති මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනුව ප්‍රතික්ෂේප කරන ලෙස ‘යුක්ති’ සංසදය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. අධික පොළියක් සහිත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මෙම ණය අර්බුදයට ප්‍රධාන ම හේතුව වී ඇති බැවින්, ශ්‍රී ලංකාව ඉදිරියේ දී අධික පොළී සූරාගන්නා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වලට එළඹීමෙන් වැළකී සිටිය යුතුය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන නැවත සාකච්ඡා කර, නව සහ තිරසාර වූ ණය තිරසාරභාවය පිළිබඳ විශ්ලේෂණයක් සිදුකරන බව සහතික කර ගත යුතු ය. ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම පිණිස සමාජ සුබසාධනය සඳහා වන රාජ්‍ය වියදම් සපුරා ගැනීමට හැකි වන පරිදි වඩාත් ඉහළ මට්ටමක ණය කපාහැරීමක් සහතික කළ යුතු ය.
Leave a comment